AI දත්ත මධ්‍යස්ථානවල අපතේ යන තාපයෙන් ඩෙන්මාර්කය මඟ පෙන්වයි

AI දත්ත මධ්‍යස්ථානවල ශීඝ්‍ර වර්ධනය ලෝක බලශක්ති අර්බුදය තවත් උග්‍ර කරන අතරතුර, එම මධ්‍යස්ථානවලින් සාමාන්‍යයෙන් වායුගෝලයට මුදාහැරෙන අතිවිශාල අපතේ යන තාපය (waste heat) භාවිතයට ගැනීමේ ක්‍රමයක් ඩෙන්මාර්කයේ (Denmark) ඉංජිනේරුවෝ සොයාගෙන තිබේ.
ලොව පුරා දත්ත මධ්‍යස්ථාන 12,500කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර, ගෝලීය බලශක්ති යටිතල පහසුකම් මත පීඩනයක් පටවමින් දිනපතා නව මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. ජලය ලීටර් බිලියන සිය ගණනක් භාවිත කිරීම පමණක් නොව, ඒවා විදුලි ජාල මත අතිවිශාල ඉල්ලුමක්ද ඇති කරයි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (International Energy Agency) දත්ත අනුව 2024දී දත්ත මධ්‍යස්ථාන ටෙරාවොට් පැය 485ක විදුලිය භාවිත කර තිබේ. එය ලෝක බලශක්ති සැපයුමෙන් 1.5%ක් වන අතර ජර්මනියේ (Germany) සමස්ත විදුලි නිෂ්පාදනයට සමාන වේ. 2030 වන විට එම කොටස දෙගුණ වී 3%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, AI සතු භූමිකාව ඝාතීය ලෙස ඉහළ යමින් පවතී.
දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්තිය මහජන කෝපයටද හේතු වී තිබේ. නෙදර්ලන්තයේ (Netherlands) ඇම්ස්ටර්ඩෑම් (Amsterdam) ආසන්නයේ නව මයික්‍රොසොෆ්ට් (Microsoft) දත්ත මධ්‍යස්ථානයකට එරෙහිව විරෝධය පළ කළ පිරිසක් පොලිසිය සිකුරාදා අත්අඩංගුවට ගත්තේය.
මේ වසරේ මැයි මාසයේදී සොන්ඩර්බෝර්ග්හි (Sonderborg) දකුණු ඩෙන්මාර්ක විශ්වවිද්‍යාලයේ (University of Southern Denmark) බිටන් (Bitten) නමැති සුපිරි පරිගණකය සේවයට එක්විය. එය අධ්‍යයන පර්යේෂණ සඳහා රටේ ප්‍රධාන AI සම්පතයි. ලොව සෑම තැනකම ඇති AI දත්ත මධ්‍යස්ථානවල මෙන්ම, එහි සකසන යන්ත්රද දවසේ පැය විසිහතර පුරා දැඩි තාපයක් ජනනය කරයි.
එම තාපය අපතේ යැවීම වෙනුවට දැන් එයින් 100%ක්ම නැවත ලබාගන්නේ ඩෙන්මාර්ක ඉංජිනේරු සමාගමක් වන ඩැන්ෆොස් (Danfoss) සැලසුම් කළ උසස් ද්‍රව සිසිලන තාක්ෂණය (liquid cooling technology) මගිනි. එය සම්ප්‍රදායික වායුසමීකරණ හා විදුලි පංකා සඳහා විකල්පයකි. සිසිලන ද්‍රවය උණුසුම් සකසන චිප මතින් සෘජුවම ගලාගොස් අපතේ යන තාපය අවශෝෂණය කර, එය සොන්ඩර්බෝර්ග්හි ප්‍රාදේශීය උණුසුම් සැපයුම් ජාලයට සෘජුවම ලබාදෙයි. එමගින් වැසියන් 75,000ක් උණුසුම්ව තබාගැනීමට උපකාර වේ.
දත්ත මධ්‍යස්ථානයකින් පිටවන උණු ජලය නිවාස උණුසුම් කිරීමටත් කාර්මික ක්‍රියාවලි සඳහාත් භාවිත කළ හැකි බව ඩැන්ෆොස් ක්ලයිමේට් සොලියුෂන්ස්හි (Danfoss Climate Solutions) ක්‍රිස්ටියන් ස්ට්‍රෑන්ඩ් (Kristian Strand) පැවසීය. යුරෝපයේ එක් වසරක් තුළ අපතේ යන තාපයෙන් මුළු පැරිස් (Paris) නගරයටම වසර 48ක් බලශක්තිය සැපයිය හැකි බව ඩැන්ෆොස් ගණනය කරයි. ලෝක බලශක්තියෙන් තුනෙන් දෙකක් පමණ අතිරික්ත තාපය ලෙස අහිමි වේ. වැඩිම දත්ත මධ්‍යස්ථාන සංඛ්‍යාවක් ඇත්තේ එක්සත් ජනපදයේය. එහි විදුලියෙන් 5%ක් භාවිත කරන මධ්‍යස්ථාන 4,000ක් පමණ ඇති නමුත්, නැවත ලබාගන්නා තාප ප්‍රමාණය අඩුම වන්නේද එරටයි.
"දත්ත මධ්‍යස්ථාන ඉදිකළ යුත්තේ ඉඩම් ලාභ තැන්වල නොව, ඒවායේ තාපය භාවිත කළ හැකි තැන්වලයි," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (Oxford University) බලශක්ති හා දේශගුණ ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය යාන් රෝසනෝව් (Jan Rosenow) පැවසීය. අපතේ යන තාපය නැවත ලබාගැනීමේදී ස්කැන්ඩිනේවියාව (Scandinavia) පෙරමුණ ගනී. ඩෙන්මාර්කයේ ඔඩෙන්සේහි (Odense) මෙටා (Meta) දත්ත මධ්‍යස්ථානය වසරකට ගිගාවොට් පැය (GWh) 100ක පමණ තාපයක් නැවත ලබාගනී. එය නිවාස 6,900කට ප්රමාණවත්ය. ස්ටොක්හෝම් (Stockholm) 2014 සිට දත්ත මධ්‍යස්ථාන තාපය සිය ජාලයට ලබාදී තිබේ.
ඩැන්ෆොස් ඉංජිනේරුවෝ මෑතකදී සොන්ඩර්බෝර්ග් රෝහලේ කාබන් විමෝචනය කරන ගෑස් බොයිලේරු දෙකක් ඉවත් කර තාප පොම්ප පද්ධතියක් (heat pump system) සවි කළහ. එමගින් MRI ස්කෑනර් වැනි උපකරණවලින් මෙන්ම ශල්‍යාගාර හා වාට්ටුවල උෂ්ණත්ව පාලන පද්ධතිවලින්ද අපතේ යන තාපය රැස් කරයි. රෝහල වසරකට මාස නවයක් බලශක්තියෙන් ස්වයංපෝෂිත වන අතර, උණුසුම් කිරීමේ වියදම් විශාල ලෙස ඉතිරි කරගනී. "ව්‍යාපෘතියට වැය වූ මුදල වසර දෙකක් ඇතුළත ආපසු ලැබෙනවා. රෝගී සත්කාරයට සහ නව උපකරණවලට වැඩිපුර වියදම් කිරීමට අපට පුළුවන්," රෝහලේ තාක්ෂණික සේවා ප්‍රධානී ලැසේ බෝ මැඩ්සන් (Lasse Bo Madsen) පැවසීය.