ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් යුරෝව වෙනස් කිරීම හෝ ඉවත් වීම ගැන ප්‍රංශ වාමාංශික නායකයා සඳහන් කරයි

ප්‍රංශයේ ජනාධිපතිවරණය ඉදිරි අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත බැවින් දැඩි ප්රචාරක ව්‍යාපාර දැනටමත් ආරම්භ වී ඇත. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී වාමාංශික නව ජනප්‍රිය පෙරමුණ (New Popular Front) සන්ධානය වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පසු, මෙවර ජනාධිපති ධුරය අල්ලා ගැනීමට වාමාංශය ඉතා උනන්දුවෙන් සිටී.
සන්ධානයේ දැඩි වාමාංශික නායකයා ලෙස සැලකෙන ජීන්-ලුක් මෙලන්චොන් (Jean-Luc Melenchon) ශක්තිමත් අපේක්ෂකයෙකු ලෙස සැලකේ. ඔහු 2022 ජනාධිපතිවරණයේදී ඡන්දවලින් 21.95%ක් දිනාගත් අතර, ඉදිරි මැතිවරණයට තරග කරන බව නිවේදනය කර ඇත.
පැරිස් නගරයේ උතුරු තදාසන්න ප්‍රදේශයක 15,000කට වැඩි පිරිසක් සහභාගී වූ දැවැන්ත රැලියක අවසානයේ කතා කරමින් ඔහු පැවසුවේ තමා ජනාධිපති වුවහොත් යුරෝපීය මධ්‍යම බැංකුවේ (European Central Bank) බලතල අඩු කර ප්‍රංශයේ ම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවයි.
ඒ සඳහා යුරෝ මුදල් ඒකකය වෙනස් කළ යුතු බව ඔහු පැවසූ අතර, අනෙකුත් යුරෝපීය රටවල් එකඟ නොවන්නේ නම් ප්‍රංශය යුරෝපා සංගමයෙන් සහ යුරෝ කලාපයෙන් ඉවත් වීමද සලකා බලන බවද ඔහු එකතු කළේය.