සඳ මත ජීවත් වෙමින් වැඩ කිරීමට ගගනගාමීන් බඳවා ගැනේ

සඳ මත ජීවත් වෙමින් වැඩ කළ හැකි නව පරපුරේ ගගනගාමීන් බඳවා ගැනීම සඳහා එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනය වන නාසා (NASA) නව අයදුම්පත් කැඳවීමක් ආරම්භ කර තිබේ.
ආටෙමිස් වැඩසටහනේ (Artemis programme) නවතම ව්‍යාප්තියේ කොටසක් ලෙස මෙම අයදුම්පත් කැඳවා ඇත. තෝරා ගන්නා පිරිස චන්ද්‍ර පෘෂ්ඨය මත කඳවුරක් පිහිටුවීමට සහ අඟහරු වෙත මිනිසුන් යැවීමේ මුල් සැලසුම්වලට සහභාගි වෙමින් අභ්‍යවකාශයේ මානව වර්ගයාගේ අනාගතය හැඩගැස්වීමට දායක වනු ඇත.
ගුවන් සේවා සහ තාක්ෂණික දියුණුව සමග චන්ද්‍ර පර්යේෂණ කෙරෙහි ද අවධානය යොමු කරමින් සෙනසුරාදා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Kennedy Space Center) පැවැති ගුවන් සංදර්ශන උත්සවයකදී මෙම නිවේදනය නිකුත් කෙරිණි.
ගගනගාමී බලකායට එක්වීමට මෙය සුවිශේෂී අවස්ථාවක් බව නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් (Jared Isaacman) මහතා පැවසීය. තෝරා ගන්නා අය සඳ මත පා තබා, එහි කඳවුරේ ජීවත් වෙමින් වැඩ කරන අතර අවසානයේ අඟහරු වෙත ගමන් කරන කාර්ය මණ්ඩල සඳහා මග සලසනු ඇති බව ඔහු සඳහන් කළේය.
2027 අවසානය වන විට අවසන් තේරීම් සිදු කර ඉන් අනතුරුව මීළඟ ගගනගාමී අපේක්ෂක කණ්ඩායමේ පුහුණුව ආරම්භ කිරීමට නාසා අපේක්ෂා කරයි. අවසන් වරට අයදුම්පත් කැඳවා තිබුණේ 2024 වසරේදීය. 1960 දශකයේ සිට නාසා ගගනගාමී අපේක්ෂකයන් 370 දෙනකු තෝරාගෙන ඇති අතර දැනට ගගනගාමීහු 32 දෙනෙක් සක්‍රිය සේවයේ නිරතව සිටිති.