රෝලර් කෝස්ටරයක යන විට අපේ මොළයට සිදුවන්නේ කුමක්ද?

අහස හරහා විසිවීම, උඩු යටිකුරු වීම සහ ඉතා උස තැන්වලින් පහතට ඇදවැටීම සතුටුදායක අත්දැකීම් නොවිය යුතුය. එහෙත් ජාත්‍යන්තර විනෝද උද්‍යාන සහ ආකර්ෂණ සංගමයට (International Association of Amusement Parks and Attractions) අනුව සෑම වසරකම මිලියන සිය ගණනක් දෙනා පැය ගණන් පෝලිම්වල රැඳෙන්නේ හරියටම එම අත්දැකීම සඳහාය. බඩ කැලතෙන මේ ත්‍රාසජනක අත්දැකීමට අප මුදල් ගෙවීමට තරම් අපේ මොළයේ සිදුවන්නේ කුමක්ද?
රෝලර් කෝස්ටරයේ (roller coaster) මුල් ආකාර මීට වසර 400කට පෙර රුසියාවේ දක්නට ලැබුණු බව මහා බ්‍රිතාන්‍ය රෝලර් කෝස්ටර් සමාජයේ (Roller Coaster Club of Great Britain) නිර්මාතෘ ඇන්ඩි හයින් (Andy Hine) පවසයි. 'පියාඹන කඳු' නමින් හැඳින්වූ, අයිස්වලින් වැසුණු කෘත්‍රිම බෑවුම් ඔස්සේ මිනිසුන් ලී හිම කරත්තවලින් වේගයෙන් පහළට ගමන් කළහ. 19 වැනි සියවසේදී මෙම අදහස පැරිසියට ළඟා විය. අයිස් නොතිබූ බැවින් පැරිස් වැසියෝ රෝද සහිත කරත්ත ධාවනය වන ලී පථයක් ඉදිකළහ. 'පෙරළෙමින් ගමන් කිරීම' (rolling) සහ 'නිදහසේ ලිස්සා යාම' (coasting) යන අර්ථ ඇති පද එක්වී එම සවාරියට නම ලැබිණි. එම සරල ආකාරය පවා පැයට කිලෝමීටර් 65ක වේගයකට ළඟා විය.
1884දී නිව්යෝර්ක්හි කෝනි දූපතේ (Coney Island, New York), 'ගුරුත්වාකර්ෂණ සවාරියේ පියා' ලෙස හැඳින්වූ නව නිපැයුම්කරු ලාමාකස් තොම්ප්සන් (LaMarcus Thompson), නූතන රෝලර් කෝස්ටරයේ පූර්වගාමියා නිර්මාණය කළේය. 1950 දශකයේ අගභාගයේ වානේ ව්‍යුහ පැමිණීමත් සමග වේගය සහ උස වැඩි වූ අතර, පථයේ ඉහළින් සහ පහළින් සවි කළ රෝද නිසා උඩු යටිකුරු වටවීම් සිදුකිරීමට හැකි විය. දැන් එක් සවාරියකදී මගීන් 14 වතාවක් දක්වා උඩු යටිකුරු කළ හැකිය.
සවාරියක් අතරතුර 'සතුටේ හෝමෝන' ලෙස හැඳින්වෙන එන්ඩෝෆින් (endorphins) මට්ටම ඉහළ යන බව අධ්‍යයන පෙන්වා දෙයි. ආතති හෝමෝනය වන කෝටිසෝල් (cortisol) මට්ටමද ඉහළ යයි. එහෙත් සෑම ආතතියක්ම හානිකර නොවේ. විශේෂඥයන් රෝලර් කෝස්ටරය හඳුන්වන්නේ ධනාත්මක ආතතියක් වන 'හිතකර ආතතියට' (eustress) උදාහරණයක් ලෙසය.
මෙයට පරිණාමීය හේතුවක් තිබිය හැකි බව පර්යේෂක වෝකර් (Walker) විශ්වාස කරයි. ආදි මානවයන් විලෝපිකයෙකුගෙන් බේරුණු විට ඇඩ්රිනලින් (adrenaline) ඉහළ යාම සහනය හා සතුට සමග බැඳී තිබෙන්නට ඇත. නූතන ජීවිතයේ සැබෑ අනතුරු දුර්ලභ බැවින් මෙම සවාරි ආරක්ෂිත ආදේශකයක් ලෙස ක්‍රියා කරයි. ජී බලයේ (G-force) වෙනස්වීම්, අතිශය වේගය සහ අනපේක්ෂිත හැරීම් ත්‍රාසය තවත් වැඩි කරයි.
මෙය සෑම කෙනෙකුටම ගැළපෙන්නේ නැත. වෛද්‍ය පාණ්ඩ්‍යා (Pandya) පැහැදිලි කරන්නේ සමබරතාව රඳා පවතින්නේ සංඥා තුනක් එකිනෙකට ගැළපීම මත බවයි. ඒවා නම් ඇස්වලින් දකින දේ, අභ්‍යන්තර කන්වලට දැනෙන දේ සහ මාංශපේශි හා සන්ධිවලින් ලැබෙන තොරතුරුය. ඒවා එකිනෙකට පටහැනි වූ විට මොළය ව්‍යාකූල වී ඔක්කාරය ඇති වෙයි. මහාචාර්ය මාවින් සකර්මන්ගේ (Marvin Zuckerman) 'සංවේදන සෙවීමේ පරිමාණය' (sensation seeking scale) අත්දැකීම් සොයන්නන් වර්ග හතරක් හඳුනාගනී. සමහරු අවදානම් සහගත වික්‍රමාන්විත ක්‍රියාවලට ප්‍රිය කරන අතර, තවත් සමහරු ශාරීරික අනතුරක් නොමැති ත්‍රාසජනක අත්දැකීම් කැමති වෙති. ත්‍රාසජනක මොහොතකදී තරම් ජීවිතය දැනෙන වෙනත් අවස්ථාවක් නැතැයි මිනිසුන් පවසන බව වෝකර් පෙන්වා දෙයි.