ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ට සිංගප්පූරුවේ නව රැකියා කාණ්ඩ 8ක් විවෘත කරයි

ආහාර සේවා, සමාජ සේවා සහ ගුවන් සේවා ක්ෂේත්රවල නව රැකියා කාණ්ඩ අටක් සඳහා ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට සිංගප්පූරුව (Singapore) සිය රැකියා බලපත්‍ර වැඩපිළිවෙළ (work permit scheme) පුළුල් කර තිබේ.
දේශීය ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට අපහසු ක්ෂේත්රවල ශ්‍රම හිඟය පියවීම මෙම නව විධිවිධානවල අරමුණ බව සිංගප්පූරුවේ මිනිස්බල අමාත්‍යාංශය (Ministry of Manpower) ප්‍රකාශ කළේය.
සාම්ප්‍රදායික නොවන ශ්‍රම සැපයුම් රටවල වෘත්තීය ලැයිස්තුවට (Non-Traditional Sources occupation list) අලුතින් එක් කළ කාණ්ඩ වන්නේ මස් සකස් කරන්නන්, මාළු වෙළෙඳුන් සහ ඒ ආශ්රිත ආහාර සකස් කරන්නන්, අවන්හල් සහායකයන්, මුළුතැන්ගෙයි සහායකයන්, මේස සේවකයන්, ගුවන් යානා මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයන්, ළමා රැකවරණ සේවකයන්, පූර්ව ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරුන් සහ ගුරු සහායකයන්ය.
ශ්‍රී ලංකාව (Sri Lanka), බංග්ලාදේශය (Bangladesh), භූතානය (Bhutan), කාම්බෝජය (Cambodia), ඉන්දියාව (India), ලාඕසය (Laos), මියන්මාරය (Myanmar), පිලිපීනය (Philippines) සහ තායිලන්තය (Thailand) ඇතුළු රටවල් නවයක පුරවැසියන්ට මෙම වැඩපිළිවෙළ යටතේ රැකියා සඳහා සුදුසුකම් හිමි වේ.
නීති අනුව, මෙම ලැයිස්තුවෙන් විදේශීය ශ්‍රමිකයන් බඳවා ගන්නා සේවායෝජකයන් අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 2,000ක ස්ථාවර මාසික වැටුපක් ගෙවිය යුතුය. එමෙන්ම මෙම ක්‍රමයට බඳවා ගන්නා සේවකයන් සංඛ්‍යාව සේවායෝජකයාගේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 8% නොඉක්මවිය යුතුය.
ආගන්තුක සත්කාර, ආහාර සේවා, ළමා රැකවරණ සහ ගුවන් සේවා ක්ෂේත්රවල සිංගප්පූරුවේ රැකියා සොයන ශ්‍රී ලාංකිකයන්ට මෙම පුළුල් කළ වැඩපිළිවෙළ අමතර අවස්ථා ලබා දෙයි.
කෙසේ වෙතත්, නව නීති රැකියාවක් සහතික කිරීමක් හෝ ස්වයංක්‍රීයව බලපත්‍ර අනුමත කිරීමක් නොවන බව අමාත්‍යාංශය පැහැදිලි කළේය. සුදුසුකම් සපුරාලීම සහ අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීම සිංගප්පූරු සේවායෝජකයන්ගේ වගකීම වේ. 2026 මාර්තු මාසයේ ප්‍රකාශයට පත් කළ මෙම ප්‍රතිපත්තිය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක විය.