වසර 50ක් පැරණි ද්විත්ව ඝාතනවල දාම ඝාතකයා හඳුනාගනී

1976-77 කාලයේ පෙන්සිල්වේනියාහි (Pennsylvania) වොෂින්ටන් කවුන්ටියේ (Washington County) තරුණ කාන්තාවන් දෙදෙනකු ඝාතනය කර ඇත්තේ දාම ඝාතකයකු බව, අපරාධ සිදුවී වසර 50කට ආසන්න කාලයකට පසු පොලිසිය නිවේදනය කර තිබේ.
1976 දී, ස්තුති දීමේ දිනයට (Thanksgiving) පෙර රාත්‍රියේ පවුලේ අය හමුවීමට පිටත්ව ගිය 21 හැවිරිදි සූසන් රෂ් (Susan Rush) අතුරුදන් විය. පසුදා උදෑසන ඇගේ සොහොයුරාට ඇගේ සිරුර මෝටර් රථයේ පසුපස කුටියේ තිබී හමුවිය. ඇයට ලිංගික අතවර කර ගෙල සිරකර මරා දමා තිබූ බව පොලිසිය පැවසීය.
මාස හයකට පසු, 1977 මැයි මාසයේදී, කුණාටුවක් පවතින අතරතුර පෙම්වතාගේ නිවසින් පිටව ගිය 18 හැවිරිදි බ්‍රෙන්ඩා රිටර් (Brenda Ritter) ඝාතනය කෙරිණි. ඇගේ සිරුර පසුදා කඳුකර ප්‍රදේශයකින් හමුවිය. ඇයද ඝාතනය කර තිබුණේ එම ආකාරයටමය.
අපරාධ ස්ථාන දෙකෙන්ම සංරක්ෂණය කර තිබූ සාක්ෂි නවීන DNA තාක්ෂණයෙන් පරීක්ෂා කළ විමර්ශකයෝ ඝාතන දෙකම එකම පුද්ගලයකු විසින් සිදුකර ඇති බව තහවුරු කළහ. ඒ වන විටත් මියගොස් සිටි ජේම්ස් රිචඩ් ක්ලාක් (James Richard Clark) ඝාතකයා ලෙස පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිසිය හඳුනාගෙන තිබේ.
2025 දී නඩු දෙකේම DNA සාක්ෂි තාක්ෂණික සමාගම් කිහිපයකට යැවූ අතර, ඒවායේ විශ්ලේෂණයෙන් සිද්ධි දෙක අතර සම්බන්ධය හඳුනාගැනිණි. ක්ලාක් 2023 දී වයස අවුරුදු 66ක්ව සිටියදී ස්වාභාවික හේතූන් මත මියගියේය. ඝාතන සිදුවූ කාලයේ ඔහු එම ප්‍රදේශයේ ජීවත්ව සිටි අතර එවිට ඔහුගේ වයස අවුරුදු 19ක් හෝ 20ක් විය.
"වරක් දාම ඝාතකයකු වූ අයකු සැමවිටම දාම ඝාතකයෙක්. තවත් වින්දිතයන් සිටිය හැකියි," යැයි විමර්ශන නිලධාරී ජේම්ස් පෙට්රොස්කි (James Petrosky) පැවසීය. වින්දිතයන්ගේ පවුල්වලට මේ පිළිබඳ දැනුම්දී ඇති අතර ඔවුන් පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා තිබේ. විමර්ශනය දිගටම ක්‍රියාත්මකය.